ජෙනරාල් සරත් ෆොන්සේකා ආණ්ඩුව පෙරලීමට කුමන්ත‍්‍රණය කළ බවට පැමිණිලි කරන්නේ කවුරුන් විසින්දැයි නම හෙළිකරන ලෙස එජාප මාධ්‍ය අංශයේ ප‍්‍රධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවට අභියෝගයක් කරයි.ආණ්ඩුවකට පැමිණිලි දමන්නත්, නඩු අහන්නත් දෙකම බැරි බව පැවැසූ එ් මහතා එවැන්නක් සිදුවනවා නම් එය අව නඩුවක් බවත් පැමිණිලිකරුවකු නැතිව කෙනකු විත්තිකරුවකු වන්නේ කෙසේදැයි තමා ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බවත් කීය.
කිරිඇල්ල මහතා මේ සඳහන කළේ අද සවස විපක්‍ෂ නායක නිලනිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ජෙනරාල් ෆොන්සේකා මහතා හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුව මේ රටේ අලූත් දේශපාලන සංස්කෘතියක් අරඹා ඇති බවත් 1982 සිට ජනාධිපතිවරණ 6 ක් පවත්වා ඇති අතර එ් කිසිම මැතිවරණයකදී ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන හා නීතියේ උත්තරීභාවය ගැන සිතන අයට මෙය මරු පහරක් බවත් රටට අමිල සේවයක් කළ මේ රජයෙන් සම්මාන, උසස්වීම්, සන්නස් හා පැසසුම් ලැබූ කීර්තිමත් රණවිරුවකු ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ නිසාම මෙසේ බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම සාරධර්ම වලටත් නිතර කතා කරන බෞද්ධ සංස්කෘතියටත් පටහැනි බවත් ශ‍්‍රී ලංකාව නීතියේ උත්තරීතර භාවය කෙලෙසූ රටක් ලෙස ලැයිස්තුගත වී තිබෙන්නේ මෙවැනි ක‍්‍රියා නිසා බවත් කිරිඇල්ල මහතා කීවේය.
විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් එකතුවී රජය පෙරලන්නට කුමන්ත‍්‍රණය කරනවායි කියමින් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම රටේ ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට ද පටහැනි බවත් ආණ්ඩුව මෙවැනි ක‍්‍රියා ගැන අනාගතයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට උත්තර දෙන්නට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය. ආණ්ඩුව ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් පසු හැසිරෙන්නේ පරාජිත මානසිකත්වයකින් බව කී එ් මහතා නියම ලෙස මැතිවරණය ජයගත්තා නම් මේ අයුරින් නොහැසිරෙන බවත් අද ආණ්ඩුව බියෙන් තැති ගැනීමකින් හැසිරෙන්නේ යම් යම් දේ හෙළිවේය යන බිය නිසා බවත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමෙන් ජනාධිපතිවරණ ඡුන්ද පෙත්සම ඉදිරිපත් කිරීමට ප‍්‍රශ්නයක් මතුවේ යැයි ආණ්ඩුව තුළ මතයක් ඇතත් එවැන්නක් නොවන බවත් මැතිවරණ පෙත්සම ඉදිරිපත් කිරීමට දැන් කටයුතු සිදුවෙමින් තිබෙන බවත් කීවේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතිය ගරු කරන සියලූ ජනතාව හා දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ මේ නීතිවිරෝධී ක‍්‍රියාව හෙළා දකිමින් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට රජයට බලපෑම් කිරීමට ඉදිරිපත්වන්නයි කිරිඇල්ල මහතා ඉල්ලීමක්ද කළේය




















