මේ රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් කැපවූ ජෙනරාල්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා ආකාරයෙන් බවත්, මෙමගින් රටේ ඉතිරිව ඇති අවසන් ප්‍රජාතන්ත්‍රවාදයටත් රාජපක්ෂ ආණ්ඩුව හිරිකිතයකින් තොරව පහර දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. විපක්ෂයේ සියලුම පක්ෂ ඒකාබද්ධව
පැවැත්වූ මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, ලාල් පෙරේරා ඇතුළු පක්ෂ නායකයින් රැසක් සහභාගී වී සිටියේය.
මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ ද පැවසීය. "මේ අවස්ථාවේදී පැමිණි නිලධාරීන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රැගෙන ගියේ හරියට ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගත් ආකාරයෙන්. මම ඒ අවස්ථාවේදී එතැන සිටියා. ඒ වගේමයි මම මේ සියල්ල මගේ ඇස් දෙකෙන් දැක්ක. අපි ඒ මොහොතේම මේ සිදුවීම ලංකාවේ මාධ්‍ය වෙත දැන්වුවා. ඒ අවස්ථාවේදී එතැනට ඇවිත් ඡායාරූප ගත්ත මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණක් ඒ හමුදා නිලධාරීන් රැගෙන ගිහින් තිබුණා. ඒ විතරක් නෙමෙයි අපි අපේ දුරකතනවලින් ඒ සිදුවීම පිළිබඳව විදේශය පවා දැනුවත් කිරීමට කටයුතු කළා. ලෝකය මේ සිද්ධිය පිළීබඳව දැනගත්තා. දැන් අපිට මේ රටේ ජනතාවගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.
මේ රටේ ත්‍රස්තවාදය පරාජය කළ, එය පරාජය කිරීමට ජීවිතයත් පරදුවට තියල නායකත්වය දීපු හමුදා නිලධාරියාට මේ ආකාරයට සැලකීම ඔබ අනුමත කරනවද? ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්ත්යට ඡන්දය දීපු අයගෙනුත් අපි අහත්තේ ඔබ මේ සිදුවීම අනුමත කරනවද? ඒ වගේම අපි මේ අවස්ථාවේදී කියන්න ඕනෙ තවත් බොහෝ හමුදා නිලධාරීන් ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙන්නේ. මෙය කොයි තරම් නීත්‍යනුකූලද කියල අපි සොයා බලන්න ඕනෙ. මේ අන් කිසිවක් නිසා නෙමෙයි. මේ කුමක් වෙනුවෙන්ද කියල අපිට දැන් හොඳටම පැහැදිලියි. දැන් ආණ්ඩුව චෝදනා කරන්නේ හමුදා කුමන්ත්‍රණ කළා, හමුදාව බේද කළා වැනි චෝදනා. මේ සියල්ල වෙන කුමක් නිසා වත් නෙමෙයි. පසුගිය දිනවල සරත් ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම. ත්‍රස්තවාදය මුලිනුපුටාදැමීමෙන් පසු මේ රටට උදා කළ යුතු ශිෂ්ඨ සම්පන්න සමාජය නිර්මාණය කිරීමට මහින්ද රාජපක්ෂට බැරි වුණා. එය උදා කිරීම වෙනුවෙන් කැපවීම තමයි මේ සියල්ලට හේතුව. මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ ඉදිරියේදී මහ මැතිවරණය පැවැත්වෙනවා.
ඒකෙදි මහින්දට විශාල අභියෝගයක් එල්ල වෙනව සරත් ෆොන්සේකා මහතාගෙන්. ඒ නිසාම තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ. මේ රටේ යම් තරමකින් හෝ ඉතිරිවී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිදු බයක් සැකක් නැතුව පහර එල්ල කරල තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයද කියල අපි අහන්න කැමතියි."





















