Home Category Blog ඩී. බී. විජේතුංග හිටපු ජනපතිතුමා දේශපාලන විරුද්ධවාදීන් හිරේ විලංගුවේ දමන්න කටයුතු කළේ නෑ - රනිල්

ඩී. බී. විජේතුංග හිටපු ජනපතිතුමා දේශපාලන විරුද්ධවාදීන් හිරේ විලංගුවේ දමන්න කටයුතු කළේ නෑ - රනිල්

E-mail Print PDF

කිසිදු පක්‍ෂ භේදයකින් තොරව පක්‍ෂ විපක්‍ෂ හැම දේශපාලනඥයෙකුටම අවශ්‍ය රැකරවණය ලබාදෙමින් සිය දේශපාලන විරුද්ධවාදීන් ද සතුරන් සේ නොසළකා සියල්ලන්ට නිදහසේ දේශපාලනයේ නියලීමට දිවංගත ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා අවස්ථාව ලබාදුන්නා. තමන්ට ලැබුණු බලයෙන් මත්වී තම විරුධවාදීන් පසුපස හඹා යමින් ඔවුන් හිරේ විලංගුවේ දමන්නට එතුමා කටයුතු කළේ නැතැයි විපක්‍ෂනායක සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පිළිමතලාවේදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා වූ දිවංගත ඩී.බී. විජේතුංග මහතාගේ 94 වන ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවක් පිළිමතාලව ඩී.බී. විජේතුංග මාවතේ විවෘත කිරීමෙන් පසු විජේතුංග නිවසේ පැවැති ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ විපක්‍ෂ නායකවරයා එසේ පැවැසීය. අස්ගිරි පාර්ශ්නයේ මහා නායක අති පූජ්‍ය බුද්ධ රක්ඛිතතාභිධාන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ හා හිටපු මැති ඇමැතිවරුන්ගේත්, ප්‍රදේශවාසීන් රැසකගේත් සහභාගිත්වයේ පැවැති මෙම උත්සවයේ මුලින්ම සිදු කරනු ලැබුවේ මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද දිවංගත ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ පිළිරුව සහ සමරු ඵලකය විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් නිරාවරණය කිරීමයි. අනතුරුව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පක්‍ෂ ක්‍රියාකාරීන් විසින් පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ. එම ගුණානුස්මරණ උත්සවය අමතා විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

මේ රටේ නවීකරණයක් ඇති වුණේ 1977 න් පසුවයි. රටේ මහාමාර්ග තැපැල් හා විදුලි සංදේශ, විදුලි බල ක්‍ෂ්‍රේත්‍රයේත්, කර්මාන්ත ක්‍ෂ්‍රේත්‍රයේත් සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්නට මට එදා විජේතුංග ජනාධිපතිතුමාගෙන් විශාල සහායක් ලැබුණා. එතුමා විධායක ජනාධිපති වශයෙන් කෙටි කාලයක් මේ රට පාලනය කළත් ඒ කෙටි කාලය තුළ මේ රටේ ජාතික සමගිය ඇති තර රට ආර්ථික අතින් සංවර්ධනය කරන්නට විශාල මෙහෙවරක් ඉටු කළා. විජේතුංග ජනාධිපතිවරයා මේ රටේ බලයට එන විට පැවැතුණේ බෙදුණු රටක්. එතුමාගේ අවංක උත්සහාය වුණේ රට යළි එක් කොට සමගි සම්පන්න ජාතියක් රට තුළ ඇති කිරීමටයි. එදා රට තුළ පූර්ණ දේශපාලන නිදහසක් ස්ථාපිත වී තිබුණා. නමුත් එදා ඒ තිබුණු නිදහස අගය කළේ නැහැ.

එතුමා කිසිම දාක තම විරුද්ධවයාදීන් පසුපස හඹා ගොස් ඔවුන් අල්ලා සිරගත කළේ නැහැ. අද රටේ දේශපාලනයේ නිතරව සිටින විරුද්ද පාක්‍ෂික නායකයන්ට, මන්ත්‍රීවරුන්ට නිසි ආරක්‍ෂාවක් නැහැ. එදා විජේතුංග ජනාධිපතිවරයා පක්‍ෂ විපක්‍ෂ කාටත් නිසි ආරක්‍ෂාව දුන්නා. එතුමා තමන්ට ලැබුණු බලය අනිසි ලෙස පරිහරණය කළේත් නැහැ. ඇත්ත වශයෙන්ම බලයෙන් මත්වී කරනු ලබන විනාශය මත්ද්‍රවයෙන් වන විනාශයටත් වඩා අති භයංකරයි. අද තරම් දේශපාලන පළිගැනීම් සිදුවන යුගයක් මේ රටේ නොතිබුණු තරම්. විරුද්ධ මතධාරීන්ට දේශපලානය කරන්න නිදහසක් නැහැ. එදා දේශප්‍රේමීන් වශයෙන් පිළිගැණුන අය අද දේශද්‍රෝහීන් බවට පත්කර තිබෙනවා. එදා දේශද්‍රෝහී ක්‍රියාවල නිතරවූ අය අද දේශප්‍රේමීන් බවට පත්ව සිටිනවා. එදා දේශප්‍රේමීන් වශයෙන් සිටි අයට අද එලව එළවා පහර දෙන තත්ත්වයට පත්වෙලා.

ඔවුන් සිරගත කරන්න කටයුතු කරනවා. මට මේ අවස්ථාවේ අපේ ඉතිහාසයේ කතාවක් මතක් වෙනවා. එදා අපේ රටට පෘතුග්‍රීසී ආක්‍රමණයක් ඇවිත් විනාශකාරී දේ සිදුවන විට පෘතුග්‍රීසී පළවා හැර රට ඔවුන්ගෙන් මුදවා ගැනීමට රාජසිංහ රජුට උදව් කළේ තෙන්නකෝන් මුදලිතුමායි. රණ්දෙණිගලදී පෘතුග්‍රීසීන් සමූල ඝාතනය කරන්නට මූලිකට කටයුතු කළේ මේ තෙන්නකෝන් මුදලිතුමායි. සිංහල හමුදාවන්ට නායකත්වය දෙමින් එදා රාජසිංහ රජුට උදව් කළේ තෙන්නකෝන් මුදලිතුමායි. එතුමාගේ ඒ වීරත්වය නිසා ඔහු එදා හමුදාව තුළත්, ජනතාව විශාල වශයෙන් ප්‍රශංසාවට ලක්වී ජනාදරයට පත්වුණා. ඒ ජනාදරය ගැන අකමැතිවූ රාජසිංහ රජු තෙන්නකෝන් මුදලිතුමා ගැන සැකකර ඔහු රාජ්‍යත්වයට පත්වන්නට කුමණ්ත්‍රනය කළැයි චෝදනා කොට ඔහු විනාශ කරන්නට සැලසුම් කළත් ඒබ ව දැනගත් මුදලිතුමා රටෙන් පැන ගත්තා. කිසි දෙයක් කරගත නොහැකි වූ රාජසිංහ රජු මුදලිතුමාගේ සහෝදරයකු අත්අඩංගුවට ගෙන ඔහුට බොරු චෝදනා සිදු කොට හිස ගසා දමන්න නියෝග කළා.

එදා රාජසිංහ රජු කළේ තමන්ට පළිගන්ට අවශ්‍ය පුද්ගලයා අල්ලගන්නට බැරිවූ නිසා ඔහුගේ පවුලේ අයගෙන් හරි පළිගැනීමට කටයුතු කළ එකයි. එවැනි තත්ත්වයක් තමයි අදඅ පට නැවත උදාවී තිබෙන්නේ. යහපත් සමාජයක් සඳහා අවශ්‍ය පියවර ගන්නට අප මහා සංඝරත්නයේ හා පූජකතුමන්ලාගෙන් අවවාද අනුශාසනා ලබාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා අනුශාසනා මහා සංඝ රත්නයත් අප වෙත ලබා දිය යුතුයි. රට යහපත් සමාජයක් කරා යොමු කරවීමට නම් අප එදා විජේතුංග මැතිතුමා ඇති කළ සමාජයට නැවැත යා යුතුයි.

 

Add comment


Security code
Refresh