සරත් ෆොන්සේකා මහතා විදේශ විනිමය පනත යටතේ යම් වරදක් සිදුකර ඇත්නම් ඔහු හමුදා භාරයේ තබා නොගෙන සිවිල් අධිකරණයකට ඉදිරිපත් කර ඔහු පිළිබඳව තීරණය කිරීමට අධිකරණයට ඉඩ හැරිය යුතු යැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.වික‍්‍රමසිංහ මහතා එසේ පැවසුවේ ඊයේ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවති ‘‘නිදහසේ වේදිකාවේ’’ පළමු වසර සැමරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
විපක්‍ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ හමුදා නීතිය අනුව අත්අඩංගුවට ගත් අයෙකුට පැය 24 ක් තුළ චෝදනා පත‍්‍රයක් භාර දිය යුතු බවත් ෆොන්සේකා මහතාට මේ වනතුරු කිසිදු චෝදනාවක් භාරදී නොමැති බවත්ය.වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය.
අප නිදහසේ වේදිකාව ආරම්භ කළේ මේ රටේ මාධ්‍යවේදීන්ට, මාධ්‍යයට ඇතිවූ තර්ජන නිසයි. නමුත් වසරකට පසුවත් නැවත මාධ්‍යවේදියකු අතුරුදහන් වෙලා මාධ්‍යයන්ට විවිධ තර්ජන ඇතිවෙලා. අප සිතුවේ ජනාධිපතිවරණයෙන් පසුව යහපත් සමාජයක් ඇති වෙයි කියා.
එක්නැලිගොඩ මැතිතුමා නිර්භීත මාධ්‍යවේදියෙක්. ඔහු නිර්භයව තම අදහස් පළකළ නිසා වතාවක් ඔහු පැහැර ගෙන ගියා. ජනාධිපතිවරණය පිළිබඳව තොරතුරු ඔහු නිර්භීතව ලියපු නිසා ඔහුව යළිත් පැහැරගෙන ගිහිං. අප මේ පිළිබඳව වගකිවයුතු අයට දැනුම් දුන්නත් ඔවුන් එ් පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගෙන නැහැ.
සරත් ෆොන්සේකා මහතාවත් ඔවුන් පැහැරගෙන ගොස් හමුදා භාරයේ රඳවාගෙන ඉන්නවා. ඔහු හමුදාව හැරගිය අයෙක්. ඔහුට හමුදා නීතිය බලපැවැත්වෙන්නේ නැහැ. තාම ඔහුට චෝදනා පත‍්‍රයක් ලබාදීලත් නැහැ. කිසිදු රටක ජනාධිපතිවරණයකින් පසුව ප‍්‍රධාන ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා මෙලෙස අත්අඩංගුවට ගෙන නැහැ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අද නැහැ.
අද සංඝ සමුළුවකටත් ගහනවා. දළදා මාළිගාවට ආරක්‍ෂාව දෙන්න බැරි කෙනෙක් කොහොමද ජනාධිපති කම කරන්නේ. මේ රටේ දැන් දේශපාලන නිදහසත් නැහැ. මාධ්‍ය නිදහසත් නැහැ. ආගමික නිදහසත් නැහැ.
දැන් මේ රටේ තියෙන්නේ රාජපක්‍ෂය හා විරුද්ධ පක්‍ෂයයි. රාජපක්‍ෂ අය රජගෙදර. විරුද්ධ පක්‍ෂ අය හිරගෙදර. රාජපක්‍ෂ දේශපේ‍්‍රමියි. විරුද්ධ පක්‍ෂ දේශද්‍රෝහියි. කේපී අද රජගෙදර ඉඳන් රජ සැප විඳින දේශපේ‍්‍රමියෙක්. කරුණත් දේශපේ‍්‍රමියෙක්. උඩුවේ හාමුදුරුවොත් දේශපේ‍්‍රමියෙක්. වැලමිටියාවේ කුසල ධම්ම හාමුදුරුවොත් දේශපේ‍්‍රමියෙක්. කවුද දේශද්‍රෝහියෝ.
මල්වත්තේ, අස්ගිරියේ නාහිමිවරු දේශද්‍රෝහීන්. රාමඤ්ඤ, අමරපුර නිකායවල හාමුදුරුවෝ දේශද්‍රෝහීන්. සරත් ෆොන්සේකාත් දේශද්‍රෝහියෙක්. ප‍්‍රභාකරන් මැරුවහම සරත් ෆොන්සේකා වීරයෙක්. අද ත‍්‍රස්තවාදියා. එදා ප‍්‍රභාකරන්ට අවි දුන්න කේපී ත‍්‍රස්තවාදියා. අද වීරයා.
නීතියෙන් පිට තියෙන එ්කාධිපතිවාදය නීතිගත කරන්න ඔවුන් 2/3 ක් ඉල්ලනවා. මොනම පක්‍ෂයකටවත් 2/3 ක් දුන්නොත් තමන්ගේ නිදහස නැතිකර ගත්තා වෙනවා. එ් නිසා මෙවර මැතිවරණයේදී මේ සමබරතාවය ඇති කරන්නත්, නිදහස් හා සාධාරණ සමාජයක් ඇති කරන්නත් ආණ්ඩුවට 2/3 නොදිය යුතු මෙන්ම, විපක්‍ෂයේ බලය ඇති ආණ්ඩුවක් ඇති කරන්නත් ක‍්‍රියා කළ යුතුයි. එ් සඳහා අපේ සටන ඉදිරියට ගෙන ආ යුතුයි.




















