Home Category Blog මාධ්‍ය සංදර්ශන නොපවත්වා හංසයා ගැන නිශ්චිත තීන්දුව රටට කියන්න - අනුර, තිස්සට දන්වයි

මාධ්‍ය සංදර්ශන නොපවත්වා හංසයා ගැන නිශ්චිත තීන්දුව රටට කියන්න - අනුර, තිස්සට දන්වයි

E-mail Print PDF

ඉදිරි මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරඟ කිරීම පිළිබඳව මාධ්‍යය හමුවේ නොයෙක් නොයෙක් ප්‍රකාශ නොකර ඒ පිළිබඳ නිශ්චිත තීන්දුව රටට ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හංසයා ලකුණින් තරඟ වැදීම පිළිබදව එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර ඇති බවට පසුගියදා මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිසානායක මහතා මෙම නිවේදනය යොමුකර තිබේ.

එම නිවේදනය මෙසේය.

ඉදිරියේදි එළඹෙන මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරග වැදීමට ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කර ඇති බවත්, ඒ පිළිබඳව එතුමාගෙන් පිළිතුරක් නොමැති නිසා එය ප්‍රමාද වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (20) මාධය හමුවකදී පවසා තිබිණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි දැනුම්දීමක් ලැබී නැත. මුලින් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග වදින බව ඒ මහතාට යෝජනා කළත්, ඒ පිළිබඳව එකඟතාවයක් ඇති නොවිණි. ඉන් අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාත් අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධානත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසුව හංසයා ලකුණ අතහැර අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදින බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත් අතර, එය රටට ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය ද ඇතුළත් පුළුල් පෙරමුණක් පිළිබඳ ක්‍රියාමාර්ග බිඳ වැටුණේ එතැන් සිටය.

මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වාතාවරණයක් ගොඩනැගී ඇති අතර, අපේ රට දරුණු ඒකාධිපතීත්වයක් කරා ගමන් කිරීමේ අනතුරක පවතී. මෙම තත්ත්වයට එරෙහි සියලු බලවේග ඒකාබද්ධ කර ගත් පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය වී තිබේ. ඒ පිළිබඳව පුළුල් ජනමතයක්ද ගොඩනැගී තිබේ. එම එක්සත්භාවය ආරක්ෂා කිරිම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයට එරෙහි පුළුල් පෙරමුණක් අවශ්‍ය වී තිබේ. එවැනි පෙරමුණක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසා තිබිණි. දැන් අවශ්‍ය වන්නේ තවදුරටත් සාකච්ඡා කිරීම නොව තීන්දුවක් ගැනීමයි. නිශ්චිත සහ පැහැදිලි තින්දුවක් ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පුළුල් පෙරමුණක් ගොඩනැගීමයි.

එවැනි පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ උත්සහය එක්සත් ජාතික පක්ෂය ගත් තීරණ නිසා බිඳ වැටුණු අතර, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සමාජයෙන් විරෝධයක් මතුවෙමින් තිබේ. එම සමාජ විරෝධය මගහැරවීම සඳහා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පළක් නොවන අතර, අවශ්‍ය වන්නේ අවංකව හා විවෘතව තීන්දුවක් ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයා සඳහා එකඟ වූ පක්ෂ සමඟ එම පෙරමුණ ගොඩනැගීම පිළිබඳව තීන්දුවක් ගැනීමයි. එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදිනවා වෙනුවට හංසයා ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අනෙක් සියලු දෙනා සමඟ එක්වීමට තීන්දුවක් ගත යුතුව තිබේ. එම තීන්දුව ගැනීම පසෙක තබා තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පළක් නැත. එබැවින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වෙනුවට පවතින තත්ත්වයන් ගැඹුරින් සලකා බලා නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුතුව තිබේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ ද අපේක්ෂාව බව තිස්ස අත්තනායක මහතාට සිහිපත් කර සිටිමු.

අනුර දිසානායක,
දේශපාලන මණ්ඩල සභික,
ජනතා විමුක්ති පෙරමුණ.
2010.02.21

 

Comments  

 
0 #1 2010-02-23 23:33
mokada malli dan kaapuwa wamaranna welada?labba thamai antimata ituru wenne..somawansa kiyana maha gon thadiya uge gon kata parissan karagaththe nathnam thopita pitakotuwe hinga kanna thamai wenne..nikan rata kanne nathiwa gedarata wela hitapan anurayo buranne nathiwa...
Quote
 

Add comment


Security code
Refresh