හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා අයකුට නොදක්වන තරමේ විශේෂ සැලකිලි රජය විසින් ෆොන්සේකා මහතාට ලබාදී ඇතැයි ද ඒ බව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණ වලින් ද තහවුරු වන බව ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.ෆොන්සේකා මහතාගේ පාර්ශවය ඉල්ලූ පරිදි ඔහුව නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ
නොවූයේ ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ කාරණා සාධාරණ නිසාත් ඒ චෝදනා විභාග කිරීමට ඉඩ සැලසිය යුතු නිසාත් බව ඉතා පැහැදිලි වන්නේ යැයි ඇමැතිවරයා පැවසුවේය.මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙසේද පැවැසීය,
‘ෆොන්සේකා මහතා පිළිබඳව සිදුකරන නීතිමය කටයුතුවලට රජයේ බලපෑමක් නැහැ. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා කර ඇති ප‍්‍රකාශය වැරදියි. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ රටේ නීතියට බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති බව ඊයේ දුන් තීරණයෙන් සනාථ වෙනවා. ඒ නිසා රොබට් බ්ලේක් මහතා අපේ නීති පද්ධතිය පිළිබඳව ප‍්‍රශ්න කිරීම වැරැුදියි. මෙය ෆොන්සේකා මහතාගෙන් කළ පළිගැනීමක් ලෙස නොසැලකිය යුතුයි.’
‘ජනාධිපතිවරණයේදී පොදු විපක්‍ෂය ජනාධිපතිවරයාට එරෙහිව හඬ නැගුවේ එකට එක්වී. අද මොකද ඔවුන්ට වෙලා තියෙන්නේ’ කෝ ඒ ප‍්‍රතිපත්ති?’
‘රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටේ මහා සංඝරත්නයට නොගැලපෙන අයුරින් ආමන්ත‍්‍රණය කළා. එයට ඔහු සංඝයා වහන්සේලාගෙන් සමාව ගත යුතුයි.’
‘සෑම දිස්ත‍්‍රික්කයකින්ම මෙවර අප වැඩි ආසන ලබාගෙන 2/3 බලය ලබා ගන්නවා. පසුගිය මහ මැතිවරණයට වඩා ආසන 19 ක් වැඩිපුර අප ලබාගත්තොත් 2/3 අපට ලැබෙනවා.’
ඇමැතිවරයාගෙන් විමසූ ප‍්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු
ප‍්‍ර: ෆොන්සේකා මහතා පිළිබඳ නඩු විභාගයට ජාත්‍යන්තර අධිකරණ නිරීක්‍ෂකයන් පැමිණ තිබෙනවා. එය පළමුවතාවටයි සිදුවුණේ?
පි: එය වැරදි වැඩක්. අපේ අධිකරණය ගැන අප සැවොමගේම විශ්වාසය තිබෙනවා. අපේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තරයෙන් පැමිණිය යුතු නැහැ.
ප‍්‍ර: භික්‍ෂූන් පිරිසක් පැමිණ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ට තර්ජනය කිරීම උන්වහන්සේලා මේ වනතෙක් ප‍්‍රතික්‍ෂේප කර නැහැ නේද?
පි:- උන්වහන්සේලාගෙන් මේ පිළිබඳව මාධ්‍ය විමසුවා නම් ඒ ගැන කියයි. ඒ වගේම උන්වහන්සේලාට කවුරු හරි තර්ජනය කළා නම් ඒ පිළිබඳව කටයුතු කළ යුතු පිළිවෙලක් තිබෙනවා. හැමදේම මාධ්‍යට කිවයුතු නැහැ. එවැනි තර්ජනයක් නොවූ බවට අපට පැහැදිලිව කිව හැකියි. උන්වහන්සේලා මුණ ගැහෙන්න ගියේ මේ රටේ උසස් භික්‍ෂූන් වහන්සේලායි.
ප‍්‍ර: නමුත් උන්වහන්සේලා සංඝ සම්මේලනය කල් දැම්මේ ආරක්‍ෂාව නැති නිසා බව පැහැදිලිව පැවසුවා.
පි: ඒක උන්වහන්සේලාගේ පැත්තෙන් ඇත්ත. ආරක්‍ෂාව රජයට දෙන්න තිබුණ. එල්ටීටීඊයට ආරක්‍ෂාව දීපු ආණ්ඩුවකට සංඝයා වහන්සේලාට ආරක්‍ෂාව දෙන්න බැරි කමක් නැහැ.
ප‍්‍ර: ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වෙලා අදට මාසයයි. එහි පරීක්‍ෂණවල ප‍්‍රගතියක් තිබෙනවාද?
පි: නැහැ කිසිම තොරතුරක් නැහැ. අවශ්‍ය නම් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන් අහන්න.
ප‍්‍ර: ඔබ මේ මැතිවරණයෙන් ජයගන්නවාද?
පි: ස්ථීරවම ජයගන්නවා. මාතර දිස්ත‍්‍රික් ජනතාව එය තීන්දු කරයි.




















