අධිකරණය හා නීති ප‍්‍රතිසංස්කරණය නව අමාත්‍යවරයා ලෙස මිලින්ද මොරගොඩ අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉදිරියේ දිව්රුම් දුන්නේය. අමරසිරි දොඩංගොඩ මහතා අභාවප‍්‍රාප්තවීමෙන් පසුව මෙම අමාත්‍යධුරය පුරප්පාඩු විය. මිලින්ද මොරගොඩ විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට පැති මාරු කිරීමෙන් පසුව සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, එම අමාත්‍යධුරය භාර ගැනීම නිසා පුරප්පාඩු වන සංචාරක අමාත්‍යධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නන්දන ගුණතිලක අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට නියමිතව තිබිණි.මීට අමතරව ජා.නි.පේ. කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රි පියසිරි විජේනායකට සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යධූරය හිමි වෙයි.
මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනය නිසා අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තවත් එකකින් වැඩි වී 109 දක්වා ඉහළ නගියි.
මේ අතර දේශපාලන විචාරකයෝ මිලින්ද මොරගොඩ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම කොතරම් සදාචාරාත්මකද යන ප‍්‍රශ්ණය මතු කරති. ඒ ලංකා මැරයින් සමාගම සහ ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව පැවරු මුලිත අයිතිවාසිකම් නඩු වල තීන්දු මගින් එවකට එජාප අමාත්‍යවරයකු ලෙස මෙම ගනුදෙනු වලදී මොරගොඩ මහතා ක‍්‍රියාකළ ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණයේ දෝෂාරෝපණයට ලක්ව තිබීමත්, රක්‍ෂණ සංස්ථාව පෞද්ගලීකරණයේදී අයථා ලෙස ක‍්‍රියාකර ඇතැයි හෙලිවූවන්ට එරෙහිව දඬුවම් ලබා දෙන ලෙසට ඉල්ලා ජනාධිපති උපදේශක වාසුදේව නානයක්කාර මහතා පැවරු මූලික අයිතිවාසිකම් නඩුවක් තවමත් විභාගයේ පවත්නා බැවිනුත්ය.






