Home

මහින්ද-ඩග්ලස් ගිවිසුම දෙමළ ඡන්ද බලාගෙන රට පාවාදීමක්

E-mail Print PDF


මෙවර ජනාධිපතිවරණයේ දී ආණ්ඩුවේ අපේක්ෂකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙනු පිණිස ඊපීඞීපී සංවිධානය ඔහු සමග ඇතිකරගත් එකඟතාව පසුගිය 05වැනිදා කොළඹ පොල්හේන්ගොඩ පිහිටි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී ඇමැති ඩග්ලස් දේවානන්දා විසින් හෙළිකරන ලදී.

එහෙත් එම කරුණු අනුව මහින්ද රාජපක්ෂ මහතා මින් පෙර කිසිදු රාජ්‍ය නායකයකු විසින් සිදු නොකළ වරදක් සිදුකර තිබේ. මේ රටේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ ක‍්‍රියාකාරී ආරම්භය ලෙස සැලකෙන 1976 වර්ෂයටත් පෙරසිටම නිජබිම් සංකල්පය සහ දෙමළ කතාකරනවුන්ගේ පාරම්පරික ප‍්‍රදේශ සුරැකීම බෙදුම්වාදයේ සටන්පාඨයකි. එතෙක් දෙමළ එක්සත් පෙරමුණු පක්ෂය වශයෙන් හැදින්වුණු වර්තමාන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කොඩෙයි සම්මන්ත‍්‍රණය නමින් පැවැත්වූ දේශපාලන කටයුත්තකදී "උතුර හා නැගෙනහිර පාරම්පරික වාසභූමිවල වෙසෙන දෙමළ කතාකරන ජනතාව"ගැන කියමින් මෙම "නිජබිම් සංකල්පය"සහ ඔවුන් සඳහා වූ "දෙමළ ඊළාම්"ස්වාධීන රාජ්‍යයක් පිළිබඳ අදහස කරළියට පැමිණියේය.

එවැනි දෙමළ නිජබිමක් වෙනුවෙන් සටන් කරන සහ නිජබිමේ අයිතිකරුවන් හා ආරක්ෂකයන් ලෙස පෙනීසිටින දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ගමන්මඟ ආරම්භවූයේ වඩුක්කොඩෙයි සිදුවීමට සමාන්තරවය. මරාදමනු ලැබුවේද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති ගරුකරමින් දෙමළ ජනතාව වෙනුවෙන් කතාකළ ප‍්‍රබල නායකයකු ලෙස සැලකෙන යාපනය නගරාධිපතිවරයාය. ඓතිහාසික සරදමක් මෙන්ම අපරාධයක් වන්නේ එහෙව් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය බලදේශපාලන අවශ්‍යතාවන්ට පාවාදෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනයන ක‍්‍රියාමාර්ගවල අවසානයේ අදවනවිට නිජබිම් සංකල්පය පිළිගෙන රටත් ජනතාවත් පාවාදෙන අන්තයක් කරා පැමිණ සිටීමය.

එදා ඇල්ෆ‍්‍රඞ් දොරේ අප්පා ඝාතනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යාපනයේ දේශපාලන කටයුතු කිරීම තහනම් කළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ගේ අංක එකේ සටන්පාඨය වෙනුවෙන් පෙනී සිටිමින් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරයි. වරද එය පමණක් නොවේ. ඇමැති ඩග්ලස් දේවානන්දා ඊපීඞීපී සංවිධානයේ නායකයා වශයෙන් ආණ්ඩුවේ තබාගෙන සිටියද ඔහු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය විවේචනය කරන්නට හා ප‍්‍රතිපත්තිමය තීරණ ගන්නට හැකියාව ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නැති බව මෙම පුවතින් හෙළිදරව් වෙයි.

සිය බලය වැඩිකරගන්නට රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කිරීම ජනතා මුදල් නාස්ති කිරීම වැනි සියලූ දේශපාලන කුපාඩිකම් සිදුකරන නායකයකුට "පළමුව මගේ මවුබිම"යැයි කියමින් පපුවේ අත් ගසාගනිමින් මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් ඇමතීම හිරිකිතයකින් තොරව කළ හැකිය. එහෙත් ජනාධිපතිවරයා වන්නට පෙර මහින්ද රාජපක්ෂ මේ රටේ මන්ත‍්‍රීවරයකු ලෙසත් අගමැතිවරයා ලෙසත් අත්දැකීම් සහිතව සිටි බව නොරහසකි. මේ රට බෙදන්නේ නැති බවත් බෙදුම්වාදීන්ට සහාය නොදෙන බවත් ඔහු එදා සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගමැති වශයෙන් කටයුතු කළ කාලයේ රටේ ඒකීයභාවය ගැන කටක් හොල්ලන්නට නොහැකි වූ ඔහුගේ දේශපාලන කශේරුකාව, හිටපු ජනාධිපතිනියගේ "පැකේජය"ඉදිරියේත් "සුනාමි සහන මණ්ඩලය"ඉදිරියේත් නැමුණු බව ප‍්‍රසිද්ධ කරුණකි.


එසේ වුවත් ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් තරගකරන්නට යෝජනාවීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය පවා ඔහු වෙනුවෙන් කිසිවක් නොකළ බව දැන් ජනමාධ්‍ය හමුවේ පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක කටයුතු සදහාම ඒ කාලයේ කැනඩාවේ සිට මෙරටට පැමිණි ඩලස් අලහප්පෙරුමය. එදා අසරණව සිටියදී කොන්දේසි සහිතව ඔහුට උදව් කරන්නට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ පමණකි. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඒ දක්වා රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටක් නොඇරපු මහින්ද රාජපක්ෂ විශ්වාස නොකළ නිසා තමන්ට කොන්දේසි ඉදිරිපත් කරන්නට සිදුවූ බවය.

කිසිවකුගේ සහයෝගය නොමැතිව සිටියදී ජනාධිපතිවරණයත් ළඟ ළඟ එන නිසා ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන එකඟතා ගිවිසුමකට එළඹුණි. ඒ අනුව රටේ ඒකීයභාවය සුරකින බවටත් බෙදුම්වාදය පරදවන බවටත් ජනතාව ඉදිරියේ පොරොන්දු දීමට ඔහුට බලකරන ලදී. ඉන්පසුව 2005 අගෝස්තු මාසයේදී ජනතාවට ඉදිරිපත් කළ "මහින්ද චින්තන"වැඩපිළිවෙළ තුළ ද ඔහු ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය සුරකින බවයි. මහින්ද චින්තන නමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 28 වැනි පිටුවේ ඇති අනු මාතෘකාවක් වන්නේ "නොබෙදුණු රටක්-බහුතර සම්මුතියක්-ගෞරවනීය සාමයක්"යන්නයි. ඒ යටතේ ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ඒකීය රාජ්‍යය මෙන්ම ජාතික අනන්‍යතා පිළිගනිමින් සාමකාමී සහජීවනය ආරක්ෂාකරන බවට ජනතාවට ලිඛිත පොරොන්දුවක් දුන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුව කියන්නේ හතරබීරි කතාවකි.



බෙදුම්වාදී දේශපාලකයන් මිස කිසිදු දේශපාලන නායකයකු දෙමළ ජනතාවගේ නිජබිම් හෝ පාරම්පරික වාසභූමි පිළිබද කාරණය මෙතෙක් පිළිගෙන නැත. එය එසේ වන්නේ මේ රට එහි වාසය කරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී වූ සැමගේ නිජබිම ලෙස 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන නීතියක් ලෙස පවතින නිසාය. 1985 ජූලි මසදී ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයෝ සහ දෙමළ ඊළමක් වෙනුවෙන් සටන් කළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන නියෝජිතයෝ ඉන්දියානු රජයේ මැදිහත්වීම මත භුතානයේ තිම්පු අගනුවරදී සාකච්ඡා සඳහා එක්වූහ.

මෙහිදී තිම්පු යෝජනා වශයෙන් ඉදිරිපත්ව පසුව තිම්පු මූලධර්ම වශයෙන් හඳුන්වන ලද කරුණු හතරක් විය. එනම්,ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනම ජාතියක් ලෙස පිළිගැනීම, දෙමළ නිජබිම පිළිගැනීම, දෙමළ ජාතියේ ස්වයංතීරණ අයිතිය පිළිගැනීම සහ ශ‍්‍රී ලංකාවේ වසන දෙමළ ජනතාවගේ පුරවැසිභාවය සහ මූලික අයිතිවාසිකම් පිළිගැනීමයි. මෙයින් සිව්වැනි කරුණ අවිවාදයෙන් පිළිගත හැකිවුවද මුල් කරුණු තුන මේ රටේ ව්‍යවස්ථාවේ වගන්ති නිශ්චිත වශයෙන් උල්ලංඝනය කෙරෙන බව සාමාන්‍ය අවබෝධයක් ඇති කෙනෙකුට වුවද තේරුම්ගත හැකිය.

වැදගත්ම කරුණක් වන්නේ තිම්පු මූලධර්ම පිළිගෙන ඒවා ඉදිරිපත් කළ කේතීස්වරන් ලෝගනාදන්, ඞී.සිද්ධාර්ථන් වැනිවුන් බෙදුම්වාදී සන්නද්ධ දේශපාලනයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය දැක්වූ බවය. සිද්ධාර්ථන් අදත් ජනාධිපතිවරයාට සහයෝගය දෙන බව කියයි. බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආ බව කී ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා ඊළම අතහැර නැති බව දැන් පෙනී යයි. 1985 තිම්පු සාකච්ඡා නියෝජනය කළ ඊපීආර්එල්එෆ් සංවිධානයේ සිටි සන්නද්ධ නායකයකු වූ ඩග්ලස් දේවානන්දා 1986 හටගත් බෙදීමත් සමග ඊපීඞීපී සංවිධානය ලෙස බෙදුම්වාදී සටන ඉදිරියට ගෙනගියේය.

පසුව 1989 දී පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සාකච්ඡා මේසයට පැමිණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එන බව කී ඔහු වත්මන් ඇමැතිවරයකු ලෙස ආණ්ඩුවට කොන්දේසි දමන්නේ තමන් අතහැරියාය කියන බෙදුම්වාදයේ මූලධර්ම මත පිහිටමිනි. එක් අතකින් ඔහු තමන් සිටින ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා සමග ගිවිසුමකට එක්වීම ගැටලූ සහගතය. බරපතළ කාරණය නම් එහිදී දෙදෙනා එක්ව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමය. එවැනි මූලික ව්‍යවස්ථාමය පිළිගැනීමක් උල්ලංඝනය කරමින් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා ප‍්‍රමුඛ ඊපීඞීපී සංවිධානයේ සහයෝගය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ලබාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත්තේ යාපනය සහ වන්නිය අවට දිස්ත‍්‍රික්කවල දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීමට බව සැකයක් නැත.

එසේ වුවත් රාජ්‍ය නායකයා වශයෙන් එවැනි නීතිවිරෝධී ගිවිසුමකට එළඹීම මේ රටේ ජාතික ආරක්ෂාව හා ජනතාවගේ සමගිය බිලිදීමකි. සියලූ ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවටත් රාජ්‍යයේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් කටයුතුකරන බවටත් 2005 නොවැම්බර් 18වැනිදා දිවුරුම් දුන් විධායක ජනාධිපති මහින්දට සිව්වසරක ඇවෑමෙන් ව්‍යවස්ථාමය නීති උල්ලංඝනය කරන්නට බලය දුන්නේ කවුරුද? වසර 30ක් රට වැනසූ යුද්ධය අවසන් කර තමන් මේ රටේ ජනතාව මුදාගත් බවට ඔහු වේදිකා මත පුරසාරම් කීවද ඇත්ත තත්වය වන්නේ මෙවැනි බල දේශපාලන අවශ්‍යතා මත ඒ ජනතාව නැවත භේදකිරීමට හා ඔවුන්ගේ සමගිය බිලිදීමට නොපැකිළෙන බව නොවේද?



alt

alt

චන්දන සිරිමල්වත්ත
ලංකා ඉරිදා සංග්‍රහය
2009.12.13