වෛරයෙන් වෛරය නොසන් සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ’ යන බුද්ධ දේශනාව සිහිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පසුගිය 11 වනදා ලිපියක් යවන ත්‍රෛනිකායික මහා නාහිමියන් වහන්සේලා, රටේ ඒකීය භාවය හා ස්වෛරීත්වයත්, ජනතාවගේ ජීවිත ආරක්‍ෂාවත් ඇති කර දීමට ස්වකීය ජීවිත පරදුවට තබා තමා උපන් දේශයට අනූපමේය සේවාවක් ඉටු කළ සරත් ෆොන්සේකා මහතා
ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින පිරිස ජනාධිපති බලතල භාවිතා කොට හෝ නිදහස් කොට අත්අඩංගුවෙන් මුදා නිසි ආරක්‍ෂාව සලසා දෙන්නැයි ඉල්ලා සිටිති.ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිත, අමරපුර මහා නිකායේ මහානායක දවුල්දෙන ඤණීස්සර හා රමඤ්ඤ මහානිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමියන් වහන්සේලාගේ අත්සනින් ජනාධිපති වෙත යැවූ ලිපිය මෙසේයි.
අතිගරු ජනාධිපති තුමනි,
විශ‍්‍රාමික යුද හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා හා එතුමාට සහාය දැක්වූයේ යැයි සැලකෙන යුද හමුදා නිලධාරීන් හා වෙනත් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් එ් අය නිදහස් කරන ලෙස දන්වා සිටිමු.
දුරාතීතයේදී පටන් අප රටේ රාජ්‍ය පාලකයා හා සෙසු අය අතර අර්බුද, අසමඟිකම් හා ගැටුම් ඇති කරගත් සෑම අවස්ථාවකදීම පාහේ එකල්හි වැඩ විසූ මහා සංඝරත්නය එකී අර්බුද, අසමඟිකම් හා ගැටුම් සමනය කිරීමට ඉදිරිපත් වූ බවට අපේ වංශ කතා සාක්‍ෂි දරයි.
ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා (ක‍්‍රි.පූ. 161-137* හා සිය සොහොයුරු තිස්ස කුමරු අතර ඇති වූ ගැටුමේ දී එම ගැටුම සමනය කොට දෙ සොහොයුරන් සමඟි සමාදානයට පත් කොට, තිස්ස කුමරුට අභය දානය ලබා දීමෙහිලා මුල් වූයේද එවකට දකුණු පළාතේ ඔක්කම්පිටිය, මාළිගාවිල මාර්ගය අසල පිහිටි දෙමටමල් වෙහෙරෙහි වැඩ විසූ විහාරාධිපති මහ තෙරුන්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය බව අපේ වංශ කතාවන්හි සඳහන් වේ.
එසේම අපේ රට, ජාතිය හා ආගම මහත් ව්‍යසනයන්ට පත්වූ අවස්ථාවන්හි දී වැලිවිට අසරණ සරණ සරණංකර සඟ රජ මා හිමි, වාරියපොල ශ‍්‍රී සුමංගල අනු නා හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහ තෙරුන් වහන්සේලා ඉදිරිපත්ව ඉටු කළ සේවාවන් අපේ ශාසන ඉතිහාසයෙන් මනාව පැහැදිලි වේ.
අතීතයේදී පැවැති එකී සම්ප‍්‍රදාය අනුව යමින් වර්තමානයෙහි අප රටෙහි පවත්නා ගැටළු සහගත තත්ත්‍වයන් සමනය කර ගැනීම හා ජාතික සමඟිය ඇති කර ගැනීමෙහිලා වර්තමාන භික්‍ෂූන් වහන්සේගෙන්ද කිසියම් මෙහෙයක් ඉටුවිය යුතුව ඇති බව රටේ මහජනතාවගේ බලවත් පිළිගැනීමය. ඒ බව අප වෙත ලැබෙන ලිපි ලේඛන වලින් ද, අප හමුවී කරුණු ඉදිරිපත් කරන අයගේ ඉල්ලීම් තුළින් ද මනාව පැහැදිලි වී ඇත.
එසේ දුරාතීතයේ පටන් පැවත එන එම යුතුකම් හා වගකීම් අනුව යමින් මෙම ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කිරීමට අප කටයුතු කළ බව කරුණාධ්‍යාසයෙන් අවධාරණය කර සිටුම්හ.
‘නහී වෙරෙන වෙරානී
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්තී
එස ධම්මො සනන්තනො’
‘මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ. එය පෙර සිට පවතින සනාතන ධර්මයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.’
එනයින් සලකා බලන විට රටේ අතිශය භයානක උවදුරක් ව පැවැති ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙහිලා ඔබතුමා හා රාජ්‍ය ආරක්‍ෂක ලේකම්තුමා සමඟ එක්ව කටයුතු කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා හා පවතින මතභේද හා අසමඟිකම් එසේම පවත්වාගෙන යෑම අප රටේ ඉදිරිගමනට මහත් බාධාවක් සේ අප සලකම්හ.
ප‍්‍රතිවාදියකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කිරීමේ දී හා වේදිකා තුළදී කරන ලද ඇතැම් ප‍්‍රකාශ හා වෙනත් විවිධ හේතු මුල් කොට රටේ ඒකීයභාවය දිනා ගැනීම සම්බන්ධයෙන් දිවි කැපකොට සේවය කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම අපට කිසිසේත් අනුමත කළ නොහැකි බව අවධාරණය කොට සිටුම්හ.
ත‍්‍රස්තවාදී යුද්ධය පැවැති සමයෙහි අපේ භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කරමින් ද, ශ‍්‍රී දළදා මාලිගාව, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු වෙහෙර විහාර විනාශ කරමින් ද, රට දෙකඩ කිරීම සඳහා දරුණු ලෙස ත‍්‍රස්තවාදී කටයුතු වල නිරතවෙමින් ද, හමුදාවේ ඇතුළු පොදු සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැුසක් බිලිගනිමින් ද ක‍්‍රියා කළ දරුණු ත‍්‍රස්තවාදීන් හැටියට සැලකූ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා* හා චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන් වැනි අය රජයට භාරගෙන මැති ඇමැතිකම් ආදිය පවරා බලවත් සේ ආරක්‍ෂාව සලසා දිය හැකි වූවා සේ, රටේ ඒකීය භාවය හා ස්වෛරීත්වයත්, ජනතාවගේ ආරක්‍ෂාවත් ඇති කර දීමට ස්වකීය ජීවිත පරුදුවට තබා උපන් දේශයට අනූපමේය සේවාවක් ඉටු කළ සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු පිරිස ඔබතුමාගේ ජනාධිපති බලතල භාවිත කොට හෝ අදාල සියලූ චෝදනාවන්ගෙන් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසි ආරක්‍ෂාව ද සලසා දෙන ලෙස හිතාධ්‍යාසයෙන් දන්වා සිටුම්හ.
ත‍්‍රිවිධ රත්නයේ හා ශ‍්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි ප‍්‍රාර්ථනා කර සිටුම්හ.
ඒ වගත් මෙසේම,
මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල නා හිමි
අස්ගිරි පාර්ශවයේ මහා නායක ලබුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත නා හිමි
අමරපුර නිකායේ මහා නායක දවුල්දෙණ ඥාණිස්සර නා හිමි
රාමඤ්ඤ නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර නා හිමි




















