මහින්ද චින්තනය යටතේ 2009 වසරේදී ලංකාවේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක මට්ටමේ පවත්වා ගැනීමට රජය කටයුතු කරන බව මීට පෙර දිගින් දිගටම රජයේ විවිධ පුද්ගලයින් විසින් පැවසුවත් මේ වන විට 2009 වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍යංශය විසින් මහ මැතිවරණයට පෙර නිකුත් කරන ලද වාර්තාවක් මගින් මේ කරුණ අනාවරණය වී ඇති අතර,
මේ සඳහා හේතුව ලෙස මුදල් අමාත්‍යංශ වාර්තාව දක්වා ඇත්තේ 2009 වසරේ රාජ්‍ය ආදායම් අඩුවීම, රාජ්‍ය වියදම් වැඩිවීම යන හේතුය.
මේ කරුණු හේතුවෙන් රජයේ සැලසුම් සියල්ල අක්‍රිය වී ඇති බවත්, එම නිසා අදාල ඉල්ක්කය සපුරා ගැනීමට නොහැති වූ බවත්, එම වාර්තාව වැඩිදුරටත් දක්වා ඇත. මේ අනුව රුපියල් බිලියන 342.9 ක් ලෙසින් මුලින් පවත්වා ගැනීමට සූදානම් කර තිබූ 2009 අයවැය හිඟය රුපියල් බිලියන 469.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2009 වසරේදී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 23.5 කින් පහළ ගොස් රුපියල් බිලියන 702 ක් වී ඇති බවත්, උපයා ගැනීමට සැලසුම් කළ ආදායම රුපියල් බිලියන 725 ක් බවත් අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. 2009 වසරේදී රාජ්‍ය සේවකයින් වෙනුවෙන් හා ශුභ සාධන කටයුතු වෙනුවෙන් කරන ලද වියදම රුපියල් බිලියන 16.5 කින්ද, රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම් වෙනුවෙන් වියදම රුපියල් බිලියන 38.4 කින්ද, ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 48 කින්ද වැඩිවී ඇත.




















