ඉන්දිය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය තෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතය. රාඕ මහත්මියගේ මෙම සංචාරය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අදාළ සංචාරයේ දි රාඕ මහත්මිය ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහළ පෙළ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්විමට නියමිත බවයි. ඊට අමතරව ඇය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ පේරාදෙණියේ ස්ථාපිත ඉංග්‍රිසි භාෂා පුහුණු මධ්‍යස්ථානය වෙත යාමට ද සැලසුම් කර ඇත. අදාළ මධ්‍යස්ථානය ඉන්දිය රජයේ මුල්‍ය සහයෝගය මත ස්ථාපනය කර තිබේ. ආණ්ඩුවේ
ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉන්දියාවේ හිටපු මහකොමසාරිස්වරියගේ සංචාරය තුළදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම හා ඒ හරහා උතුරු, නැගෙනහිර පළාත්වලට බලය බෙදීම යන කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
බලය බෙදීම සඳහා ඉන්දියාවේ ඉහළ පෙළේ නියෝජිතයින් වෙත ජනාධිපතිවරයා සිය එකඟතාව පළ කර ඇති අතර, එම එකඟතාව ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින්ද පිළිගෙන තිබිණි. මෙම මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා සංශෝධනයකට යා හැකි බලයක් ගොඩනගා ගන්නා ලෙස ඉන්දියාව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත බලය බෙදීමේ ව්‍යාපෘතියට ඉන්දියාව සිය පූර්ණ සහාය ලබා දෙන බවත් මේ වන විට ඇති කර ගෙන තිබෙන එකඟතා අතර තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ඇය ඉන්දිය විදේශ ලේකම් ධූරයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වේ.




















