
ත්‍රස්තවාදයට එරෙහි උතුරේ යුද්ධයේ අවසන් මොහොතේ සුදු කොඩි වනමින් යටත් වීමට පැමිණි පිරිසකට වෙඩි තැබීමට ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කළ බවට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "සන්ඬේ ලීඩර්"පුවත්පතට කළා යැයි කියන ප‍්‍රකාශයක් ගැන කරුණු විමසීමට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් ඊයේ (03)ප‍්‍රතික්‍ෂේප කළාය.
මෙම සිද්ධියට අදාල සාක්කි සම්පිණිඩන ලිඛිතව ඉදිරිපත් කොට නොමැති හෙයින් ෆොන්සේකා මහතාට නොතිසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීමක් ඉල්ලා සිටින්නේ නම් එය කළ යුත්තේ සාක්කි සම්පිණ්ඩන සහිතව බව රහස් පොලිසියට දැනුම් දුන්නාය. සිද්ධිය සම්බන්ධව පරික්‍ෂණවලට අදාලව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය "සන්ඩේ ලීඩර්" පුවත් පතේ "ගෝඨා ඕඩර්ස් ටු ඩෙත්"යන සිරස්තලය යටතේ පළකළ පුවත පසුගිය ජනාධිපතිවරණයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ බව දැනුම් දුන්නේය. මේ පිළිබඳව ලද පැමිණිල්ලක් මත එම පුවත් පත ෆ්‍රෙඩ්‍රිරිකා ජෑන්ස් මහත්මියගෙන්ද,ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගෙන්ද ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබාගත් බවත් එම වාර්තාව සකස් වී තිබුණේ ෆොන්සේකා මහතා විසින් කළැයි කියන ප‍්‍රකාශයක් පදනම් කරගෙන බවත් රහස් පොලිසිය වැඩිදුරටත් අධීකරණයට දැනුම් දුන්නේය. හමුදා අත්අඩංගුවේ සිටින ෆොන්සේකා මහතා මැයි 07 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හමුදාපතිවරයාට නොතිසි නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය ජෙනරාල් ෆොන්සේකා මහතාට නොතිසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළාය.